#Interview

වත්සලා සෙව්වන්දි – Kandy Guinea Pigs

ආයුබෝවන් වත්සලා..! කොහොමද ඉතින්?ත්සලා කියන නමට වැඩියෙන් ගොඩක් දෙනා දන්නෙ kandy guinea pigs කියන නමනෙ.. මුලින්ම අපි පෞද්ගලික විස්තර ටිකක් කතා කරලම කතාබහ පටන් ගමු..!

ආයුබෝවන්..! ඇත්තටම ගොඩක් අය දන්නෙ මාව Page එකේ නමින්. මගේ නම වත්සලා සෙව්වන්දි. මම කැළණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමණාකරණය පිළිබඳ ගෞරව උපාධිය අවසන් කරලා මේ දවස් වල English Tution Class කරන ගමන් ඉන්නෙ. ඊට අමතරව campus එකේ වැඩ වලට උදව් කරනවා. ලොකුම කාලයක් ගත කරන්නෙ සත්තුත් එක්ක.

හරිම කාරුණික උතුම් හදවතක් තියන තරුණියක් විදිහට සත්තුන්ට උපකාර කරන විදිය මුළු රටක්ම දැන ගත්තෙ Kandy Guinea Pigs හරහා. එහි ආරම්භය ගැන සඳහන් කළොත්?

ඇත්තටම Page එකේ ආරම්භය වෙන්නෙ කොරෝනා කාලයේ. වැඩි අවධානයක් යොමු නොවෙන සත්තු විදියට මට හැම්ස්ටර්, ගිනිපිග් සහ හාවො හඳුන්වන්න පුලුවන්. එයාලා බලාගන්න විදිය සහ තොරතුරු බෙදා ගන්න මට හිතුණා Page එක හරහා, ලොකු පිරිසක් අතරට යන්න පුලුවන් නිසා. නමුත් සත්තුන්ට පිහිට වෙන විස්තර ඒ කාලෙ තිබුණෙ මගෙ Personal FB Account එකේ. පස්සෙ, page එකත් එක්ක ලොකු පිරිසක් එකතු වෙන්න ගත්තම ඒ තොරතුරුත් Page එකේ Share කළා.

මිනිස්සුන්ට අවශ්‍යතා ප්‍රකාශ කරන්න පුලුවන් වුණාට සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ. ඉතින් තරුණියක් විදිහට කරන මේ සත්ක්‍රියාව අගය කළ යුතුම දෙයක්..! කොහොමද මේ වගේ දේවල් කරන්න පෙළඹුණේ? පුංචි කාලෙ ඉඳන් සත්තුන්ට ආදරය කළාද?

ඇත්තටම මම පුංචි කාලෙ ඉඳන් සත්තුන්ට හරිම ආදරෙයි වගේම හරිම සංවේදියි. ඒ පුරුදු මගෙ අම්මා අප්පච්චිගෙ ආභාෂයෙන් වගේම මං හැදුණ වැඩුණ පරිසරයෙන් මට ලැබුණ දේවල්. පුංචි කාලෙ ඉඳන් අසරණ සතෙක් දැක්කම මම ගෙදර අරන් එනවා. අරන් එන්නම බැරි නම් කෑම ටිකක් හරි දෙනවා. එයාලට එයාලගෙ වේදනාව කෑ ගහලා කියන්න බෑ. ඒත් එයාලගෙ ඇස් දිහා බැලුවම හොඳටම දැනෙනවා ඒ අසරණකම. මට ඒ දේවල් දරා ගන්න අමාරුයි පුංචි කාලෙ ඉඳන්.

මෑතකදි වත්සලා ගෞරවනාමයකින් පිදුම් ලැබුවා. ඒ ගැනත් කතා කරමු.

ඔව් ඒක ඇත්තටම අහම්බයක්. ඉස්සර ඉඳන් මගෙ page එක follow කරපු Sir කෙනෙක් මාව recommend කරලා තිබුණා. සම්මාන ප්‍රදානෝත්සවයට ටික දවසකට කලින් තමයි මට දැන ගන්න ලැබුණෙ. ඇත්තටම එදා සමාජ සේවය කරන අය ගොඩක් පිදුම් ලැබුවට සත්තු වෙනුවෙන් මේ වගේ දේවල් කරන පිරිස ගොඩක් අඩුයි. ඉතින් මම සම්මාන බලාපොරොත්තු නොවුණත් ඒ ලැබුණ ඇගයීම ගැන ගොඩක් සතුටුයි.

අසරණ සත්තුන්ට උදව් කරන්න යන ගමනෙදි ගොඩක් අය ඔයා වටේ එකතු වෙනවා වගේම ගොඩක් උපකාර කරනවා. ඒ අය මතක් කරන්න මේ තමයි හොඳම වෙලාව.

ඔව් අනිවාර්යයෙන්ම, මුලින්ම මගෙ හෙවණැල්ල වගේ ඉන්නෙ අම්මයි අප්පච්චියි. එයාලා තමයි මං ගෙදර අරන් එන සත්තු බලාගන්නෙ. ඒ පින සම්පූර්ණයෙන්ම අයිති එයාලට. ඒ වගේම චූටි කාලෙ ඉඳන් මට උගන්වපු ගුරුවරු, යාලුවො ඇතුළු මට වචනයකින් හරි උදව් කරපු හැමෝම මේ වෙලාවෙ මතක් කරනවා. ඒ වගේම මේ දේවල් වලට Negative විදියට අදහස් දක්වන අයත් මගෙ ගමනට ලොකු Motivation එකක් කියලත් මතක් කරන්න ඕන.

මේක හරි ආදරණීය කාර්‍යබහුලත්වයක් කියලයි මට දැනෙන්නෙ. කොච්චර මහන්සි වුණත් හිතට එකතු වෙන්නෙ සතුට විතරමයි. සත්තු එක්ක වැඩ කරද්දි වුණ අමතක නොවෙන සිදුවීම් ගොඩක් ඇති..?

ඔව් ගොඩක් කාර්‍යබහුලයි මේ දවස් ටික. සති අන්තයේ මං tution කරනවා. ඒ, මට ආදායමක් තියෙන්න ඕන නිසා. අනිත් දවස් 5ම සත්තු වෙනුවෙන් මහන්සි වෙනවා. එයාලට බෙහෙත් අරන් දෙන්න, හොඳ ගෙදරක් හොයලා දෙන්න වගේ දේවල් වලට. ඒ වගේම මං උපයන මුදලින් වැඩි කොටසක් ඒ දේවල් වලට තමයි වැය කරන්නෙ. ඒක මුදල් වලට එහා ගිය ලොකු සතුටක් හිතට.
ඒ වගේම අසරණ සත්තු බේර ගන්න යද්දි අමතක නොවෙන සිදුවීම් ගොඩක් වෙලා තියනවා. වීදි සතුන් වන්ද්‍යාකරණය කරන එක වෙනුවට අම්මගෙන් පැටව් වෙන් කරනවා කියලා ගොඩක් අය බැනලා තියනවා. මෙතනදි කියන්න ඕන අපි කරන්නෙ ඒ අම්මට සහ පැටවුන්ට ආරක්ෂිත නිවහනක් හොයලා දෙන එක. ඒ වගේම අමතරමං වුණ සත්තු බේර ගන්න කැලේ එහෙම යන්න වෙලා තියනවා. ඒ අවස්ථා වලත් බැනුම් අහලා තියනවා. ඒ වගේම කියන්න ඕන මේ වෙනකල් මට කිසිම සතෙක්ගෙන් කිසිම හානියක් වෙලා නැහැ.

දැනට රැක බලා ගන්න සත්තු ගැන සහ අනාගත වැඩ කටයුතු ගැන මතක් කළොත්?

දැනට සත්තු හතක් වගේ මං ළඟ ඉන්නවා. අතරමං වෙලා ගේන අය නම් දවසින් දවස වෙනස් වෙනවා එයාලට හොඳ ගෙවල් හොයලා දෙන නිසා. අපේ ගෙදර ළඟම රැකවරණ මධ්‍යස්ථානයක් හදලා ඒකෙ තමයි එයාලව රඳවලා තියෙන්නෙ. දැනට බල්ලො පූසොන්ට අමතරව හාවො කුරුල්ලො ලේන්නු හැම්ස්ටර් ගිනිපිග් වගේ අයත් ඉන්නවා. ඒ වගේම මරන්න ඉඳපු එළුවෙකුත් බේරගෙන ඉන්නවා. අද වගේම හෙටත් ඒ අහිංසක හිත් වලට පිහිට වෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මං හොඳම Breed වල සත්තු හදලා නෑ. ඊට වඩා මං ආසයි අසරණ හිත් වලට ආදරය, රැකවරණය ලබා දෙන්න.

යම්කිසි කෙනෙක් මේ දේවල් වලට දායකත්වයක් ලබා දෙන්න, එකතු වෙන්න කැමති නම් කොහොමද දායක වෙන්න පුලුවන්?

ඕනම කෙනෙක්ට දායක වෙන්න පුලුවන් මේ දේවල් වලට. ශ්‍රමය වගේම ඊටත් වඩා සත්තුන්ගෙ කෑම සහ බෙහෙත් වලට ද්‍රව්‍යමය විදියට හෝ මූල්‍යමය විදියට සහයෝගයක් දක්වන්න පුලුවන්. මේ වෙනකල් අපි කරපු දේවල් Kandy Guinea Pigs අපේ FB Page එකෙන් හරි Youtube Channel එකෙන් හරි බලාගන්න පුලුවන්. අපේ FB Page එකට Inbox Message එකක් දාලා හරි 0770331280 Number එකට Whatsapp Message එකක් දාලා හරි අපිව සම්බන්ධ කරගන්නත් පුලුවන්.

අවසාන වශයෙන් Be Famous අපිත් එක්ක අද දවසෙ කතා බහට එකතු වීම ගැන ඔයාට ස්තුතිවන්ත වෙනවා ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතන ගමන්.

මට මේ අවස්ථාව ලබා දීපු Be Famous Team එකටත් ගොඩක් ස්තුතියි.

සටහන
කවීෂා හංසනී ගමගේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo