#Travel #Lifestyle

දිසා තුනක රෝන්දයේ අපේ පස් වෙනි නැවතුම තමයි මේ – Travel Minds

මියුනු ඇල්ල – ගවරගිරිය

දිසා තුනක රෝන්දයේ අපේ පස් වෙනි නැවතුම තමයි මේ.

මියුනු ඇල්ල අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගවරගිරිය ප්‍රදේශයේ පිහිටන උසින් අඩි 50ක් විතර වෙන සුන්දර දිය ඇල්ලක්. මේ සුන්දර දියඇල්ල, බුලත්සිංහල නගරයේ ඉඳන් කි.මී. 12 ක දුරකින් තමයි පිහිටන්නෙ.
මීමන ප්‍රේමතිලක කවියා ” නිල් දියේ නළඟන” කියන කාව්‍ය සංග්‍රහය රචනා කරලා තියෙන්නෙත් මේ දිය ඇල්ල පදනම් කරගෙන.

මිනී ඇල්ල බලලා ඔන්න ඉතින් අපි මියුනු ඇල්ල සොයා ගෙන ගමන පටන් ගත්තා. Google Map එක බලන ගමන් පාරෙදි හමු වෙන අයගෙනුත් පාර අහලා තමයි අපි ඇල්ල ළඟට ගියේ. මියුනු පෙර පාසල ළඟින් තමයි ඇල්ල පිහිටන වනාන්තරයට ඇතුළු වෙන්න තියෙන්නෙ.

මුළින්ම අපිට හමු වුණේ ඇල්ලෙ උඩ කොටස. පේනවා නේද ලස්සන..! කොළයි නිලුයි පාට දෙක අපිව අරන් ගියේ වෙනම ලෝකයකට..! කිරි පාට පෙණ එක්ක වතුර පහළට ඇදෙද්දි ඒක නම් වෙනම ලෝකයක් වගේ. ඇල්ලෙ උඩ කොටසත් බලලා පහළ කොටසට යන්න අපි කැලේ මැදින් පහළට බැස්සා. බය වෙන්න දෙයක් නැහැ, යම් තරමකට පැහැදිලි පාරක් පහළට තියනවා.

ඔන්න ඉතින් පහළටත් ආවා.
හිතුවට වඩා ලස්සනයි. ටික වෙලාවක් දිය ඇල්ල දිහා බලන් අපි හිතුවෙම ලස්සන තැන් සැඟවිලා තියන එකත් එක අතකට හොඳයි නේද කියලා. දූෂණය නොවූ පරිසරයක හුස්ම ගන්න මේ සොබා දහම අපි රැක ගන්න ඕන..!

කියන්න අමතක උනානෙ..
අර හැමෝම හොයන නාන තැනට යන්න ඇල්ලෙ පහළ කොටසෙ ඉඳන් තව පහළට ටිකක් යන්න ඕන. අපිට වෙලාව මදි වුණ නිසා එතනට නම් ගියේ නෑ.

විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රදේශවාසීන් නම් හරිම කැමැත්තෙන් ආගන්තුකයන්ට උදව්වක් උපකාරයක් ඕන වුණාම කරලා දෙනවා. ඒක අපි පාරවල් එහෙම අහද්දි හොඳටම දැනුණ දෙයක්.

පරිසරයට ආදරේ කරන, Travel කරන්න කැමති ඔයත් යන්න මියුනු ඇල්ල බලන්න. මේ සොබාදහමෙන් අපිට ලැබුණ දායාද නිසාම පා සටහන් විතරක්ම තිළිණ කරන්න. වටින ගස්, පැළෑටි තියන මේ සංවේදී පරිසර පද්ධතිය රැක ගන්න වග බලා ගන්න..!

මාකෙළි ඇල්ල – කෙළින්කන්ද

මියුනු ඇල්ලත් බලලා දිසා තුනක රෝන්දයේ අන්තිම නැවතුමට තමයි දැන් අපි ඔයාලව එක්කන් යන්නෙ. අපි අපේ ගමන අවසන් කරන්න තෝර ගත්තෙ මාකෙළි ඇල්ල..!

මාකෙළි ඇල්ල පිහිටන්නෙ බස්නාහිර පළාතේ; බුලත්සිංහල ප්‍රදේශයට ආසන්නව. අපි ඉතින් ගවරගිරියෙ ඉඳන් නික්ගහ පාරෙ ඇවිල්ලා බුලත්සිංහල – මෝල්කාව පාරට දාලා Google Map එකේ උදව්වෙන් තමයි මාකෙළි ඇල්ල ළඟට ගියේ.

උසින් මීටර් 10ක් වගේ වෙන මේ ඇල්ල මනාලියකගේ වේල් පොටකට හැඩයට සමාන නිසාම “මාකෙළි ඇල්ල” කියලා කියන බව තමයි අපිට දැන ගන්න ලැබුණෙ. ලස්සන වගේම ඒ පිටුපස බියකරු බවකුත් මේ ඇල්ලේ සැඟවිලා තියන බව කියන්නම ඕන…!

ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් ඇල්ලක් කියලා කියන්න පුලුවන් සහ ඇල්ලේ පහළ වගේම ඉහළ කොටස් වලට වෙන වෙනම යන්න පුලුවන්. අපිට මුලින්ම හමු වුණේ ඇල්ලේ පහළ කොටස. පාර අයිනෙම Board එකක් එක්කම Parking තියනවා. එතනින් පහළට බහින්න පඩිපෙළක් සහ දිය ඇල්ල බලන්න පීඨිකාවකුත් හදලා තියනවා.

කිසිම වෙලාවක ඇල්ලේ පහළ කොටසෙ නාන්න යන්න එපා. ජීවිත 40කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වෙලා තියනවා, තටාක ගැඹුර වැඩි නිසාම. සංචාරක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් මුරපොළක් වගේම උපදෙස් පුවරුත් මේ ආසන්නයේ අපිට දැක ගන්න පුලුවන් වුණා.

එතන ඉඳන් පුංචි දුරක් ගියාම ඇල්ලේ උඩ කොටස හමු වෙනවා. ඊටත් ටිකක් එහා ගියාම ආර්ක්ෂාකාරීව නාන්න පුලුවන් තැනක් තියනවා, ගොඩක් දෙනා නොදන්නවා වුණාට.

ඇත්තටම හරිම ලස්සන, ඇස් පිනවන පරිසරයක්..!

කුකුළේගඟ ව්‍යාපෘතිය මේ ආසන්නයේ පිහිටන නිසා ඉදිකිරීම් කටයුතු නිසාම පාරිසරික සුන්දරත්වය යම් ප්‍රමාණයක තර්ජනයකට ලක් වෙලා තියනවා.

මේ කොහොම වුණත් නිවාඩුවට විවේකීව නිදහසේ හුස්ම ගන්න ගැලපෙනම පරිසරයක් කියලා හඳුන්වන්න පුලුවන්. කොලඹ ඉඳන් ලොකු දුරක් නැති නිසා ඔයත් ඇවිල්ලා සොබා දහම විඳින්න.

තමන්ගේ ආරක්ෂාවට මුල් තැන දීලා පරිසරයත් රැක ගන්න ගමන් ඒ සුවය විඳින්න කියලා ආදරෙන් ඉල්ලනවා.

අපේ අනිත් Travel Notes කියවන්න, Travel Minds අපිවත් Follow කරන්න පුලුවන් ඔයාලට.

දකුණු – බස්නාහිර – සබරගමු දිසා තුනේ රෝන්දය මේ විදියට අවසන් කරන්නම් තව ලස්සන ගමනක් ඔයාලා එක්ක යන්න බලාගෙන..!

එතකල්,
පරිස්සමින් ඉන්න..!

සටහන
කවීෂා හංසනී ගමගේ

දිසා තුනක රෝන්දයේ අපේ පස් වෙනි නැවතුම තමයි මේ – Travel Minds

Babaganoush – Mr. Chef

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo