#Travel #Lifestyle

අද අපි යන්නෙ සුන්දර දෙණියායට..! – Travel Minds

කිරුවානා ඇල්ල – දෙණියාය

ඔන්න ඉතින් අලුත් ගමනක් එක්ක ආපහු ලස්සන Travel Note එකක් ඔයාලට අරන් එන්න හිතුවා. දෙණියාය පැත්තෙ තියන ලස්සනම ලස්සන දිය ඇල්ලක් තමයි කිරුවානා ඇල්ල කියන්නෙ.

හරි දැන් එහෙනම් යමු කිරුවානා ඇල්ල බලන්න..!
මේක ටික දවසකට කලින් ගියපු ගමනක් කියලා මුලින්ම මතක් කරන්න ඕන. පොසොන් පෝයට දෙණියාය පැත්තෙ යන්න හිතාගෙන උදේම ගමන පටන් ගත්තා. මගදි හම්බවෙන දන්සැල් ටිකත් වැඳගෙන අපි ගියා මේ ලස්සන දිය ඇල්ල හොයා ගෙන. ගාල්ල – දෙණියාය ප්‍රධාන පාරෙ ඇවිල්ලා, කොටපොළ – ඌරුබොක්ක – මුලටියන පාරට හරවලා 5kmක් විතර ගියාම තියනවා කොටපොළ තේ වත්ත.

පුංචි කඩයක් ළඟින් පහළට තියන අඩි පාරක යන්න තමයි අපිට උපදෙස් ලැබුණෙ. කොහොම හරි පාර හොයන් ඇල්ල ළඟට යන්න කලින් ඇල්ල දුර ඉඳන් පේනකොටත් පුදුම සතුටක්..!

ඇස් වගේම හිතත් පිරෙන්න උඩ ඉඳන් දිය ඇල්ල කඩා හැලෙද්දි මහන්සියත් කොහෙ ගියාද දන්නෙ නැහැ.
මේ ඇල්ලට කිරුවානා ඇල්ල වගේම කොටපොළ ඇල්ල කියලත් කියනවා. ඒ වගේම මේකෙ උස මීටර් 54ක් වගේ වෙනවා. අමුතුම ලස්සනක් තියන, හිත් හොරකම් කරන තැනක් විදියට මේ ඇල්ල හඳුන්වන්න පුලුවන් අපි දැකපු දියඇළි අතරින්.

ලොකු ප්‍රසිද්ධියක් නැති වුණත් දේශීය සංචාරකයො වගේම විදේශීය සංචාරකයොත් සුළු වශයෙන් එනවා මේ ඇල්ල හොයාගෙන. ඉතිං ඔයාටත් පුලුවන් නිවාඩු දවසක මේ විදියට සොබා දහම අතරට යන්න, විඳින්න, සැනසෙන්න..!

ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන ගමන් පරිසරයට හානි නොකර, පිය සටහනකින් විතරක් මේ අඩවිය සරසන්න..!

ගැටබරුව රජ මහා විහාරය – දෙණියාය

මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ කොටපොල ග්‍රාමයේ පිහිටන ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඉතිහාසය වලගම්බා රජ සමය දක්වා විහිදී යනවා. මේ විහාරය රුහුණේ පුංචි කතරගම කියලත් හඳුන්වනු ලබනවා. ගැටබරු දේවාලය පිහිටන්නෙ මුහුදු මට්ටමේ සිට අඩි 1500ක් විතර උසකින්.

ගැටබරු දේවාලයට එන ඔයාට
ධාතූන් වහන්සේ ඇති නිධන් කර ඇති ධාතු මන්දිරයක් .
බුරුම රටෙන් ප්‍රදානය කරන ලද ලංකාවේ දුර්ලභ කිරිගරුඩ ප්‍රතිමාවක් ,
නවග්‍රහ පිළිමය ,
බෝධිසත්ව පිළිමය ,
අඩි තිහක් පමණ දිග කළු ගල් ගුහාව ඇතුළත, 18 රියන් දිග පැරණි සැතපෙන පිළිම වහන්සේ නමක් වගේම බාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේවාලයත්,
කඳු මුදුනේ පිහිටන චෛත්‍ය
ශෛලමය පිය ගැට පෙළ දැක ගන්න පුලුවන්.

ගැටබරු දේවාලය ගැන කතා කරද්දි විශේෂයෙන් දකුණේ ජනතාව අතර වගේම අනෙකුත් ප්‍රදේශවල ජනතාව අතර ද ගැටබරු දේවාලයේ අනුහස්, හාස්කම් ගැන විශේෂ විශ්වාසයක් තියනවා වගේම ඒ විශ්වාසය ඇති වෙලා තියෙන්නෙ ඒ අය වුණ බාරහාර බොහොමයක් බලාපොරොත්තු වුණ විදියටම ඉටු වී තිබීම නිසා.

රජ්ජුරු බණ්ඩාර දෙවියන් හොඳට හා නරකට දෙකටම පිහිටවන බවට විශ්වාසයක් පවතිනවා. රජ්ජුරු බණ්ඩාර දෙවියන් “එවෙලේ දඬුවම් දෙන දෙවියන්” විදිහටත් ජනතාව හඳුන්වනු ලබන්නේ ඉක්මනින්ම තමන්ගේ බාරහාර ඒ විදියටම ඉටු වූ නිසා.

කොළඹ ඉඳන් එනවා නම්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න exchange එකෙන් exit වෙලා එතන ඉඳන් පැලවත්ත ➡️ නෙලුව ➡️ මොරවක ➡️ කොටපොළට ඇවිල්ලා ගැටබරු රජමහ විහාරයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වෙන්න පුලුවන්. එතන ඉඳන් 1.7 kmක් විතර කන්ද උඩට යන්න ඕන වගේම ඒ මාර්ගය හොඳින් සංවර්ධනය කරලා තියනවා. ගැටබරු පුදබිමට යන පාර බෑවුම් සහිත බැවින් ප්‍රවේශමෙන් රිය පදවන්න හැමෝම වග බලා ගන්න ඕන. යන එන අතරමග ලස්සන View Point එකකුත් බලාගන්න පුලුවන්.

එහෙනම් Travel Minds සංචාරක සටහන අදට මේ විදියට අවසන් කරන්නම් රත්නපුරයේ දිය ඇළි ලෝකයක් මැදින් ආයෙත් කතා බහ පටන් ගන්න බලාපොරොත්තුවෙන්..!

සුවදායී මාසයක්..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo