#Story

ඇලන් – Part 7

මගෙ පීටර් පෑන් ඔයා
මම ඔයාගෙ වෙන්ඩි

පීටර් වෙන්ඩිගෙ අතින් අල්ලගන්න
හැමදාම එයාව
බලන්න එනවා වගේ
ඇලන් මූණට මූණ බලන් කතා කරන
දුරකතන ඇමතුමේ පුංචි වෙලාවෙ
මමත් වෙන්ඩි වගේම
අතරමං වෙන්නෙ
පීටර් පෑන්ගෙ වගේ
ලස්සන ලෝකෙක බව
ඇලන් නොදන්නවා ඇති

පීටර් පෑන්ගෙ ලෝකේ වගේම
ඇලන්ගේ ලෝකේ
මම තනි වෙන වෙලාවටත්
ඔරලෝසුවේ කටු නතර වන බවත්
ඔහුට නොදැනෙනවා ඇති

ඒත් වෙන්ඩිට කවදහරි ම
ටින්කබෙල්ට පීටර් පෑන් ව
භාරදෙන්න වෙන දවසක්
එනවා වගේ

මගෙ ඇලන්වත් එයාගෙ කුමාරිකාවට
භාර දෙන්න එන දවසක් ඒවී

එදාට පීටර් පෑන්ගේ ලෝකෙට
වෙන්ඩි අයිති නෑ වගේ
මමත් ඇලන්ගෙ මතක එක්ක
මගේම ලෝකේ ආයෙමත් තනි වේවී !

” මට ඔයා නැතුව පාලුයි
ඔයාට මම නැතුව පාලු නැද්ද ? “

” පාලුයි
හැබැයි 10% යි “

ඒ සීයයට දහයම මට ඇති

මම එහෙම දරාගත්තට
ඇලන් කතා කරන වචන දහයක් නම්
ඒ වචන දහය ඇතුලේ
රිදෙන හැම වචනත් සතුටින් භාර ගන්නේ
හිත නොරිදගෙනමත් නොවෙන බව
ඇලන්ට දැනෙන්නෙ නැතුව ඇති

ඉතිං මගෙ ඇලන්ගෙ ලෝකේ
සින්ඩරෙල්ලට අයිති නැති බව
තේරුම් යන දවසක් ඒවී

අහස දිහා බලාගෙන
වෙන්ඩි ඉහිල්ලුවා වගේ
මමත් දවසක
ඇලන්ගෙ මතක එක්ක
උහුල්ලාවී

ඒත් අතින් අල්ලන්
ආදරේ කරන කාටත් වඩා
අපි ඇස් දෙක දිහා බලාගෙන
හිතින් අල්ලන් ඉන්න මේ බැඳීමට
මම හැමදාම ආදරේ කරාවී

ඉතිං පීටර් පෑන් සදාකාලික ව
මගෙ අත දරා නොගත්තත්
වෙන්ඩි විදියට ඔයාගෙ ජීවිතේ ට
මාව තෝරගත්තට
ඔයාට ස්තුතියි !

රසාරි ඉරෝෂණා

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo