#Interview #Modeling

ශවිෂ්කා දේවින්දි (Shavishka Devindi) – Interview

රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතුවන චරිත අතරින් මේ දිනවල කාගේත් නෙත් සිත් වසඟයට ගත් දඟකාර, කටකාර රුවැත්තියක් තමයි ශවිෂ්කා දේවින්දි.

ආයුබෝවන් ශවිෂ්කා
මුලින්ම ඔයා ගැන පොඩි විස්තරයක් කියලා ඉමු නේද?
ආයුබෝවන්..! මගේ නම ශවිෂ්කා දේවින්දි. මට වයස අවුරුදු 18 යි. මගේ ගම මතුගම, පහළ හෙවෙස්ස. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මිරිස්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලයෙන්. ඊටපස්සේ ඇල්පිටිය තෙරේසා බාලිකා විද්‍යාලයෙන් සහ මීගහතැන්න මෙරිල් කාරියවසම් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. මගේ පවුලේ ඉන්නේ තාත්තා, නැන්දා සහ නංගි.

ඉතින් මේ දවස් වල මොකද වෙන්නේ ?
මේ දවස් වල ගොඩක් කාර්යබහුලයි. ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම Commercial වලටත් Photo Shoot වලටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරමින් ඉන්නවා. ඉදිරියට තවත් අලුත් ටෙලි නාට්‍යයක් විකාශනය වෙන්න තියනවා වගේම මගේ යු ටියුබ් නාලිකාවක් ආරම්භ කරන්න ඉන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක මම මේ දවස්වල කාර්යබහුලයි.

ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?
මම රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ Pepamint කියන රංගන පාසල හරහා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඩිප්ලෝමාව හදාරන අතරතුර අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණේ.

මේ ක්ෂේත්‍රයට පිවිසුණු ආධුනිකයෙක් විදිහට අත්විඳින්න ලැබුණු අභියෝග මොනවද?
ආධුනික රංගන ශිල්පිනියක් විදිහට මට වඩා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් සමග එකට වැඩ කරන එක ලොකු අභියෝගයක්. ඒ වගේ ම ඒක වෙනස් අත්දැකීමක්.

රූගත කිරීම් අතරතුර ඔබට මුහුණ දීමට සිදු වූ අමතක නොවන අත්දැකීම් ගොඩක් ඇති නේද?
ඔව්. අමතක නොවන දේවල් නම් ගොඩක් තියෙනවා. එක චරිතයක් තිබුනා හෙදියකගේ. ඉතින් අපිට Shooting තිබුණේ රෝහලක. අපි මුලින්ම රෝහලට යනකොට එකේ ඉන්න හෙදියක් අපිට ඇවිත් කිව්වා ලෙඩ්ඩුන්ව බලන්න යන්න කියලා. ඉතින් එක කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒක වෙනස්ම අත්දැකීමක්.

ඔයා හිතනවද නිරූපණ ක්ෂේත්‍රයට එන්න හැදෑරීමක් අවශ්‍යයි කියලා?
ඇත්තටම ඔව්. ඕනම දෙයකට හැදෑරීමක් අවශ්‍යයි. මන් තාම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. එත් මන් හිතන්නේ යම් හැදෑරීමක් කරලා අවොත් ඒ කෙනාට හොඳ තැනකට යන්න පුළුවන් කියලා.

ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන සඳහන් කළොත්?
මගේ ලොකුම බලාපොරොත්තුව වෘත්තීමය වශයෙන් නිරූපණ ශිල්පිනියක් වීම. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේත් දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක මම පොඩි කාලේ ඉඳන්ම ආසාවෙන් හිටපු දෙයක්.

ඉතින් මොකද හිතෙන්නෙ Be Famous Magazine එකත් එක්ක අද කතා බහකට එකතු වීම ගැන?
ගොඩක් සතුටුයි. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා Be Famous Team එකට අද ලස්සන කතා බහකට මාව එකතු කර ගත්තට. සුබ පතනවා හැමෝටම.

ගවිශ්කා ඔයාටත් අපි සාර්ථක ඉදිරි ගමනකට සුබ පතනවා. බොහොම ස්තුතියි..!

සටහන
ධනුත්තරා තත්සරණි

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo