#Interview

දුල්ශාන් චතුරංග – Pouty

ආයුබෝවන් දුල්ෂාන්..! කොහොමද ජීවිතේ?

ආයුබෝවන්..! ජීවිතේ ඇත්තටම හොඳයි. දවසෙන් දවස ජීවිතේට ලැබෙන විවිධාකාර පාඩම් අත්දැකීම් හැමදේම හයියක් කරගෙන මගේ වැඩ කටයුතු ටික කරගෙන අනිත් අයටත් හයියක් වෙලා ස්වාභාවික විදිහට කාලයත් එක්ක ඉස්සරහට යනවා.

කතාබහ පටන් ගන්න කලින් අපි අඳුනගෙන ඉමු නේද? අපිට කියන්නකො ඔයාගෙ පෞද්ගලික විස්තර ටිකක්..!

ඔව්. මගේ ඇත්ත නම දුල්ශාන් චතුරංග ජයසිංහ. නමුත් මාව බහුතරය අදුරන්නෙ Mr. Pouty , දුල්ෂ් , ඔවදන් කියන නම් වලින් තමයි. මොකද මම වැඩියෙන්ම පෙනී හිටියෙ ඒ පේජ් වලින් නිසා.
පෞද්ගලික විස්තර ගැන කිව්වොත් මගේ පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා සහ නංගි මල්ලි.
මගේ ජීවිතේ මොනදේ ඉස්සරහට ආවත් මගේ ෆැමිලි එක තරම් වැදගත් දෙයක් මට තවත් නැහැ..

දුල්ෂාන් චතුරංග කියන්නෙ මොන වගේ චරිතයක් ද ඔයා දකින විදියට..?

ඇත්තම කිව්වොත් මගේ විදිහට මට මාව Writer කෙනෙක්. නමුත් අනිත් අය මට නිතර කිව්වේ Mind Read කරන Pain killer එකක් කියලා. මම මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් අදහස් වචන එලියට දාලා තියෙනවා. මීට අවුරුදු 8 කට කලින් තමයි මම මගේ අදහස් මුලින්ම සමාජ මාධ්‍යයක පළ කලේ. ඉතිං අද වෙන තුරුත් මගේ මනසට එන අදහස් වල නතර විමක් මම තාමත් දැකලා නැහැ. ඒ වගේම තව කෙනෙක්ට වචනයකින් හෝ උදව් කළ යුතුයි කියන අරමුණ අදටත් නැති වෙලා නෑ. මම සත්තුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඒ වගේම ස්වභාදහම එක්ක ඉන්න ගොඩක් කැමතියි.
කාට හරි උදව්වක් කරන්න තියෙනවනම් මම එතන අනිවාර්යයෙන්ම ඉන්න කෙනෙක්.

දුල්ෂාන් කියන නමට වඩා ගොඩක් අය ඔයාව දන්නෙ Pouty කියලනෙ. අපි ඉතින් Pouty ගැනත් කතා කරමු.

Pouty ගැන කිව්වොත් මට දවසක් වුණත් කතා කරන්න පුලුවන්. ඔව් ඇත්තටම මාව වැඩියම ජනතාව වැළඳ ගත්තෙ මේ Pouty කියන Concept එක නිසා.
අද වෙනකොට මම ඒක Clothing Brand එකක් කරන්න පවා වැඩ කටයුතු පටං අරගෙන ඉවරයි. මට මේ pouty කියන page එක මාස 7 ක් වගේ කෙටි කාලයකින් මිලියනයක් දෙනා අතරට අරන් යන්න මට පුලුවන් වුණා. රෑ දවල් නොබලා මහන්සි වෙලා හදන contents වලට ඒ තරම් ප්‍රතිචාර ලැබෙන එක ගැන තනි පුද්ගලයෙක් විදිහට මම ලොකු සතුටක් ලබනවා.
ඉතිං pouty කියන concept එකත් එක්ක රැඳිලා ඉන්නෙ ගොඩක් ආදරණීය වගේම sensitive සෙට් එකක්. එයාලගේ වචනයෙන් කිව්වොත් එයාලා pouty පේජ් එක හොයන් එන්නෙ motivate වෙන්න හෝ වේදනාත්මක මොහොතක් නම් ඒ මොහොත ගෙවලා දාලා හිත හදාගන්න මොනවා හරි අරං යන්න. ඉතිං මම අද මෙතන අදහස් ඉදිරිපත් කරනවනම් ඒකේ වැඩිම credit එක හිමි විය යුත්තේ එයාලට. එයාලා තමා මාව Brand එකක් කළේ.

නිර්මාණශීලී වගේම ආදර්ශමත් Content Creator කෙනෙක් විදියට තමයි ඔයා සමාජයට එන්නෙ. කොහොමද ඒ ගමන පටන් ගත්තෙ..?

මේ ගමන ඇත්තටම පටං ගත්තෙ ඉස්කෝලේ යන කාලේ පොත් වල පිටිපස්සෙ සහ පංතියේ ඩෙස් වල ලිය ලිය ඉදලා තමයි.
සමාජ මාධ්‍ය වල page කියන දේ උඩට එමින් තිබුන 2013 – 2015 වගේ අවුරුදු වල තමයි මම මගේ අදහස් මුලින්ම Contents විදිහට post කරන්න පටං ගත්තෙ. එතකොට Instagram කියන ඇප් එක ලෝකෙට launch කරලා අවුරුදු කිහිපයයි. සමහර විට TikTok කියන ඇප් එක හදන්න අදහසක්වත් ඒ කාලෙදි යෝජනා වෙලා තියෙන්න නැතිව ඇති. මම ලියන්න කොච්චර ආසද කියනවනම් ලැබුන හැම පේජ් එකකම මම editor කෙනෙක් විදිහට contents create කළා. අදටත් ඒ පරණ contents share වෙනවා මං දකිනවා.

Social Media Pages ගැනත් අපි සඳහනක් කරමු නේද?

ඔව්..මං Pouty පේජ් එකෙන්ම පටන් ගන්නම්. මගේ දැනට තියෙන වැඩිම followers ඉන්න පේජ් එක තමයි Pouty කියන්නෙ. කෙටි කාලයකින් ලංකාවේ දැනට වැඩිම like සහ views ප්‍රමාණයක් අරගෙන ජනතාව වැලදගත්ත එකම TikTok Quote පේජ් එකත් Pouty කියලා මම සැක නැතිව කියනවා.
Pouty කියන Concept එකෙන් මම Motivation, Spread Love, Animal Welfare, Sadness සහ Love ඇතුලු තවත් මාතෘකා කිහිපයක් ගැනම මම Contents Update කරනවා. සරලවම හොඳ සමාජයක්, හොඳ බැඳීමක් ඇති කරගන්න හැටි වගේම සත්තුන්ට ආදරේ කරමු කියන සමාජ පණිවිඩය මම pouty තුලින් මුදාහරින්න මහන්සි වෙනවා. ඊට අමතරව ප්‍රශ්නවලට පිලිතුරු හොයාගෙන මාව හොයන් එන, මට කතා කරන හැමෝටම මම pouty තුලින් එයාලට තේරුම් ගන්න අපහසු දේවල් පහද ගන්න හයියක් වෙනවා..

මගේ දෙවෙනියට ලොකුම පේජ් එක තමයි ඔවදන් පේජ් එක. මේකෙදි මම කලින් කිව්ව දේවල් වලට අමතරව සමාජ සේවා, වත්මන් සමාජ තත්වය, රටේ සිදු වෙන ප්‍රධාන සිදුවීම් සහ ප්‍රවෘත්ති ඇතුලු කතා කල යුතුම මාතෘකා ගැන Updates අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ දැනට වැඩිම Contents ප්‍රමාණයක් upload කරලා තියෙන Instagram page එකක් තමා ඔවදන් පේජ් කියන්නෙ.

මේ ප්‍රධාන පේජ් කිහිපය එක්ක තව පේජ් කිහිපයක්ම මම දැනට handle කරගෙන යනවා.

හැම Page එකකටම ඔයාට වෙන වෙනම විශේෂ අරමුණු තියනවා. ඒ ගැන මතක් කළොත්?

ඇත්තටම ඔව්.. ලොකු අරමුණක් තියෙනවා.
අද අපිට සමාජ මාධ්‍ය වල රූපවාහිනී මාධ්‍ය වල සහ පත්තර වල නිතර දකින්නට ලැබෙන දේවල් කිහිපයක් සාරාංශ කලොත් එකක් තමයි අනවශ්‍ය බැදීමක් හෝ සම්බන්ධකමක් නිසා පීඩා විදින අය හෝ ජීවිතයෙන් සමුගත්ත ප්‍රවෘත්ති. මේ දේ ප්‍රේම සම්බන්ධයක්, පවුල් ආරවුලක්, මිතුරන් ඇසුරු කිරීමේ ආකාරයේ යම් වැරැද්දක් හෝ කුමන හෝ පීඩාකාරී සිද්දියක් ගැටීමක් වෙන්න පුලුවන්. අනිත් ප්‍රධානම බහුලව වෙන දෙයක් තමයි සතුන්ට හිරි හැර කිරීම සහ අනාරක්ෂිත ලෙස මග තොට අතහැර දමා යෑම.

ඉතිං බොහෝ මිනිස්සුන්ට මොළයක් තිබුන පලියටම එයාලට සියල්ල ගැන හරි පැහැදීමක් නැහැ. හිතාමතාම මේ දේවල් කරන අය තමා ගොඩක්ම ඉන්නෙ.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල සමහර මතෘකා සම්බන්ධව දිය යුතු දැනුම ලබා නොදීම ළමයෙකුගේ අධ්‍යාපන කාලය අවසාන වෙනවයි කියලා මාත් අත්වින්ද දෙයක්. ඔබට වුණත් ඒ දේ තේරෙන්නට ඇති. ඉතින් මිනිස්සුන්ගෙ හිත් වලට හරි දේ කාවද්දන්න මම අවුරුදු කිහිපයක ඉදන්ම ඒ මාතෘකා ගැන මම විවිධාකාර වූ contents අරගෙන එනවා.

එක මනුස්සයෙක්ට සමහර විට පුලුවන් වෙන්න පුලුවන් මේ ලෝකයම වෙනස් කරන්න. සමහර විට ඒ ඔයා වෙන්නත් පුලුවන් කාලානුකූලව ඕනම දෙයක් උඩු යටිකුරු වෙන්න පුලුවන් ඒක තමා මේ ලෝක ස්වභාවය.

මේ වෙනකොට විශාල රසිකයන් පිරිසක් ඔයා වටේ එකතු වෙලා ඉන්නවා. ඒ ගැන මොකද හිතන්නෙ..?

ඒ ගැන ඇත්තටම විස්තර කරන්න නොතේරෙන තරමක වටිනාකමක් මගේ හිතේ තියෙන්නෙ. මට මුන ගැහුණ ආදරණීයම සහ සංවේදීම පුද්ගලයින් දහස් ගානකගෙ එකතුවක් තමා Pouty Family කියන්නෙ.
සමහර ෆෑන්ස්ලා මට මං ගැන පොත් පවා ලියලා එවලා තිබුන අවස්ථා තිබුනා ඊට අමතරව ලියුම් සහ Pouty ව චිත්‍ර වලින් ඇදලා එවපු අය ගොඩක් හිටියා. මතක් කල යුතුම කාරණයක් ගැන කිව්වොත් මට තිබුණා Op Contents කියලා පේජ් එකක් ඒකත් ග්‍රාහකයන් ලක්ෂ 2 ක් හිටපු කෙටි කාලයකින් උඩටම ආපු පේජ් එකක්. නමුත් අවාසනාවන්ත විදිහට TikTok වලින් මේ පේජ් එක Ban වුන අවස්ථාවෙදි ඔවුන් මට Pouty පේජ් එක ආරම්භ කරන්න දුන්න සහය අනන්තයි අප්‍රමාණයි.

ඒ Pages නිසා ලැබුණ දේවල් මොනවද ඔයාගෙ ජීවිතේට..?

අවුරුදු 8 ක පේජ් ජීවිතේ අමතක නොවන සිදුවීම් නම් ගොඩයි. සුන්දරම මතකයන් ගැන කිව්වොත් පාදයක් අහිමි එක්තරා පුද්ගලයෙකුට ඔහුට අවශ්‍ය රෝද පුටුව ලබා දෙන්න අපිට පුලුවන් වුණා. ඒ වගේම විවිධ අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන අයට විවිධ අවශ්‍යතා, මුදල් සහ ඖෂධ උපකාර කරන්නට අනේක වාරයක් අපිට පුලුවන් වුණා. තවත් අමතකම නොවන මතකයක් නම් Pouty පේජ් එකේ Contents කිහිපයක් මම අවුරුදු කිහිපයකට කලින් අධ්‍යාපනය ලබපු නුගේගොඩ ජනප්‍රිය උසස් පෙළ උපකාරක පංතියක ළමයි Motivation කිරිමට යොදා ගෙන තිබුණ එක.

මගේ contents වලට වැටෙන Comments සහ message වලින් ලැබෙන දහසක් වූ ප්‍රතිචාර හැම එකක්ම මට සුන්දර මතකයක් තමයි.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැනත් සඳහනක් කරමු.

වර්තමානයේ මම කරගෙන යන හැමදේම ඒ විදියටම තවත් positive විදිහට කරගෙන යන එක තමා මගේ පේජ් ජීවිතේ තියෙන ලොකුම අරමුණ. මාව විශ්වාස කරලා මං එක්ක ඉන්න හැමෝටම ඉදිරි අනාගතයේත් positive දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

සමහර බලාපොරොත්තු ඉෂ්ට කරන්න හරි අමාරුයි, උදාහරණයක් විදිහට මම කැමති මේ ලෝකෙම vegetarian වෙනවානම්, Animal කියලා නම තියලා තියෙන ජීවය නිදහස් වෙනවා නම්. මොකද එයාලත් අපි වගේම ජීවය තියෙන ජීවත් වෙන්න අයිතිය තියෙන කොටසක්. ඒ බලාපොරොත්තු ප්‍රායෝගික නැහැ, කෙනෙක් මට හිනා වෙන්න වුනත් පුලුවන්. එහෙමයි කියලා මම ඔවුන් රකින්න දරන උත්සාහය අතෑරලත් නැහැ. කොච්චර උත්සාහ කලත් ඒ දේ කරන්න අදහසක් මට තාමත් හිතාගන්න බැරි වුණා.
මිනිස්සු හිනා වෙන තැන නෙමෙයි මගේ පරාජය තිබුනේ මේක මට කරන්න බැහැ කියලා මටම හිතෙන තැනයි පරාජය තියෙන්නෙ.
ඉතිං බැහැයි කියලා දෙයක් නැහැ. උත්සාහ නොකරම තමන් තමන්ට බැහැයි කියාගන්න එක ලොකු අපරාධයක්.

අද අපිත් එක්ක හරවත් වගේම රසවත් කතා බහකට එකතු වුණාට ඔයාට බොහොම ස්තුතියි. අදට සමු දෙන්නම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන ගමන්.

ඇත්තටම ගොඩක් සතුටුයි Be Famous Magazine එකේ Article එකට මාව choose කරපු එක ගැන. මටත් මගේ පේජ් ජීවිතයම මතක් වුන අමතක නොවෙන interview එකක් වුණා මේක. ඉතිං Be Famous Magazine ඔයාලටත් තව තවත් සාර්ථක වෙන්න කියලා මම ඔයාලට wish කරනවා. සුබ අනාගතයක්.

සටහන
කවීෂා හංසනී ගමගේ

1 Comment

  1. Mr. Pouty
    21st Sep 2023 Reply

    Thank you <3 Best Magazine..

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo