#Interview #Modeling #Rising Talents

උදාරි හර්ෂනී (Udari Harshani) – Interview

ආයුබෝවන් උදාරි ! කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
ආයුබෝවන් ! ඇත්තටම මේ දවස් වල ගොඩක් වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හින්දා මං ටිකක් කාර්යබහුලයි.

උදාරි හර්ෂනී කියන්නෙ තිර පිටපත් ලේඛිකාවකගෙන් ටිකක් එහාට ගියාම මොන වගේ චරිතයක් කියලද හඳුන්වන්න පුලුවන්?
මං හරි සරල කෙනෙක්. ඒ වගේම වැඩ වලදි ගොඩක් ඒ වැඩේට අවධානය දීලා නිවැරදිව වැඩ කරන්න කැමති කෙනෙක්..!

අපි පෞද්ගලික විස්තර ටිකක් කතා කරලා අඳුන ගෙන හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා.
මගේ පවුලෙ ඉන්නෙ මායි ඩැඩියි අම්මයි නංගියි. ඒත් මේ වෙලාවෙ එයාලා මගෙ ළඟ නැහැ. ඒකට හේතුව මගෙ මේ කරන වැඩ කටයුතුත් එක්ක මං හිතුවා ටිකක් තනියම ඉන්න. ඒ නිසාම මම දැන් පවුල කියන සීමාවෙන් ටිකකට මිදිලා මගෙ ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යනවා.

පුංචි කාලෙ ඉඳන් රංගනයට කැමත්තක් තිබුණද සහ කොහොමද ක්ෂේත්‍රයට එන්නෙ කියලා අපි කතා කරමු.
මුලින්ම කියන්න ඕනෙ මං මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඇත්තටම මම පුංචි කාලෙ ඉදන්ම රංගනයට ගොඩක් ආස කළා. ඒ වගේම ලියන්නත්.. ඒ නිසා කෙටි කතා, නිසදැස්, කවි, ගීත ඒවත් මං ලියලා තියෙනවා. ඒ වගේම රංගනය ගැන හදාරලා තියෙනවා. රංගනය සම්බන්ධයෙන් මගේ මුල් ගුරුතුමා වෙන්නෙ කපුරු බන්ඩාර සර්. ඔහු තමා මට වේදිකාව පුරුදු කලේ. ඒ වගේම මේ ක්ෂේත්‍රයට එන්නෙ අනුජිත ජනත් සොයුරා හින්දා. ඒත් එක්ක්ම සමාජ මාධ්‍ය හරහා ගොඩක් අය මාව එයාලගෙ වැඩ වලට සම්බන්ධ කර ගත්ත නිසා මට මේ ක්ෂේත්‍රයට එන්න තවත් පහසු වුණා.

Music Visual වලට සම්බන්ධ වෙද්දි දැනට කරලා තියන නිර්මාණ මතක් කළොත්?
ඔව් මියුසික් වීඩීයෝ දෙක තුනකටම ආරාධනා ලැබුණා. ඒත් මං තෝරා බේරාගෙන තමා වැඩ කරන්නෙ. ඒ අතරින් නදීර දිල්ෂාන් අයියගේ අලුත්ම නිර්මාණය “රන් මාලේ” කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන භූමිකාව කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතිං මං ගොඩක් ම ස්තූතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා ඒ වගේ දේකට සම්බන්ධ කර ගත්ත එකට සහ මට ලොකු සහයෝගයක් දුන්නා කනිෂ්ක විජිත් අයියා. මතක් කරන්න ඕනේ අය ගොඩක් ඉන්නවා, ඒ හැම කෙනාටම මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ ලබා දුන් සහයෝගය වෙනුවෙන්.

තිර පිටපත් රචනය ඇතුළෙ මොන වගේ වෙනසක් කරන්නද බලාපොරොත්තුව?
ඇත්තටම තිර පිටපත් රචනය කියන්නෙ මගේ ජීවිතේ වැඩියෙන් ම ආදරේ කරන සහ ඉදිරියෙන්ම තියෙන බලාපොරොත්තුව.
තිර පිටපත් රචනය කියන්නෙ මට අනුව ටිකක් සංකීර්ණ දෙයක්. ඒකෙ ඇතුළෙ අපිට හිතන්න ගොඩක් දෙවල් තියෙනවා. හොඳ තිර පිටපතක් රචනය තුලින් ම සෑම විටම ඉතාමත් හොඳ ගුණාත්මක නිර්මාණයක් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න පුළුවන්. ඇත්තටම එහෙම කරන්න පුළුවන් නම් ඔහු ඉතාමත් දක්ෂ තිර පිටපත් රචකයෙක්. ඉතිං මටත් අවශ්‍ය දවසක තිර පිටපත් රචනය තුළ සැබෑ වෙනසක් ඇති කරන්න. ඇත්තටම අද කාලේ ගොඩක් තිර පිටපත් නිර්මාණ බිහි වෙන්නෙ තවත් කාගේ හරි පිටපතක කොපියක් විදියට. ඒත් මං ඒ තැනෙන් එහාට ගිහින් මගේ අදහස් වලින් විතරක් ලියන නිර්මාණයක් තමයි මම එළියට දෙන්නෙ සහ මං බලාපොරොත්තු වෙන්නෙ ලංකාවේ තිර පිටපතක් තමන්ගේම පරිකල්පන හැකියාවෙන් ලියන්න හරියටම කිව්වොත් තව කාගෙවත් නිර්මාණයක කොපියක් නොවන තමාගෙම නිර්මාණයක් ලියලා ප්‍රේක්ෂකයා හට හොදම දේ ලබා දෙන්න.

වර්තමාන රංගන ක්ෂේත්‍රය දිහා බලද්දි මොකක්ද ඔයාගෙ අදහස?
වර්තමාන රංගන ක්ෂේත්‍රය මගෙ පෞද්ගලික මතය අනුව නාට්‍යය කලාවෙන් ඈතට ගිහිල්ලා රංගනය වානිජකරණය එක්ක මූලික වෙලා. අද බිහිවෙන ගොඩක් නිර්මාණ ගුණාත්මකභාවයෙන් තොර වෙන්නත් ඒක එක හේතුවක්. නාට්‍යකරණය සහ තිර පිටපත් නිර්මාණය පිළිබඳව සහ රංගනය පිළිබඳව කිසිම මූලික හැදෑරීමක් නැතුව සිදු කෙරෙන නිර්මාණ නිසාම අද වන විට රංගන ක්ෂේත්‍රය ගුණාත්මක නිර්මාණ වලින් තොර වෙලා තියෙනවා. හොඳ නිර්මාණයක් බිහි වෙන්න නම් හොද තිර පිටපතක් වගේම ඒ සදහා දායක වෙන නිර්මාණකරුවොනුත් මේ ක්ෂේත්‍රය පිළිබඳව හොද දැනීමක් තිබෙන අය විය යුතුමයි. මේක මගේ පෞද්ගලික මතයක් විතරයි.

ඉදිරි කලා කටයුතු ගැනත් අපි සඳහනක් කරමු නේද?
ඔව්, ඉදිරියේදී මම නිර්මාණය කරපු Tele Film දෙකක නිර්මාණ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ එකක් ඒ වගේම මා අතින් ලියවුණු ගීත නිර්මාණයන් කීපයක්ම ඉදිරියේදී එන්න තියෙනවා.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?
ඔව්, මගෙ අනාගත බලාපොරොත්තුව පිටපත් රචනය තුළින් ලංකාවේ හොදම තිර පිටපත් නිර්මාණකරුවන් අතරට යන්න. ඒක තමයි මගේ පුංචි කාලේ ඉදන්ම තිබ්බ එකම හීනය සහ බලාපොරොත්තුව. ඒ අතරතුර රංගන කටයුතු වලටත් දායක වෙන්න පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් මගෙ එකම හීනය අනාගතයේ දවසක ලංකාවේ හොදම තිර පිටපත් රචිකාවියක් වෙන්න. ඒ වෙනුවෙන් මං මහන්සි වෙනවා.

සුබ පතනවා හදවතින්ම උදාරි ඔබට හැමදේම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි අද කතා බහට එකතු වුණාට.
මං වෙනුවෙන් අද වෙලාවක් වෙන් කළ වගේම මට වටිනාකමක් එකතු කරපු Be Famous Crew එකටත් බොහොම ස්තුතියි.

සටහන
කවීෂා හංසනී ගමගේ

උදාරි හර්ෂනී (Udari Harshani) – Interview

Dimi3 – Interview

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo