#Travel #Lifestyle

Travel Minds අපේ රත්නපුර Tour එක අද ඉඳන් මෙහෙම අරන් එන්න හිතුවා ඔයාලට..!

මේක අපි ටික කාලෙක ඉඳන් Plan කරපු ගමනක් කිව්වොත් හරි. One Day Trip එකක් විදියට අපි තෝරගත්තා ගාල්ලෙ ඉඳන් රත්නපුර හරහා බලංගොඩට යන්න වේවැල්වත්ත පාරෙ. මේ අපි යන්න හදන්නෙ දිය ඇළි ලෝකයක් මැදින්. ගොඩක්ම ප්‍රසිද්ධ Route එකක් නොවුනට මේ පරිසරයෙ නම් තිබුණෙ පුදුමාකාර ලස්සනක්.

උදේ පාන්දර 3ට වගේ අපි ගමන පටන් අරන් අපේ පළවෙනි නැවතුමට උදේ 7වගේ වෙද්දි ආවා. Album එකත් එක්කම ඔයාලට තව විස්තර කියන්නම්කො..!

මේ තමයි Unseen Rathnapura Tour එක..!

📅 16/08/2023

📌️ Galle – Niwithigala – Rathnapura – Wewalwatta – Balangoda

📈 440km

ප්‍රධාන දිය ඇළි 6ක් ඇතුළුව තවත් දිය ඇළි ලෝකයක්..!
වටවල ඇල්ල
රජනාව ඇල්ල
දෙහෙන ඇල්ල
අලුපොළ ඇල්ල
බේරුවත්ත ඇල්ල
දෙමළ ඇල්ල

ඒ වගේම අපේ Youtube Channel එකත් එකතු වෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා. Full Tour එකේ Video එක අපේ Channel එක පැත්තට ආවොත් ඔයාලට බලන්න පුලුවන්..!

වටවල ඇල්ල – නිවිතිගල

මේ තමයි අපේ රත්නපුර සංචාරයේ පළමුවෙනි නැවතුම..!
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරවිට ප්‍රදේශයේ තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටන්නෙ. වටවල ඇල්ල කිව්වට පිහිටලා තියෙන්නෙ නුවරඑළිය ප්‍රදේශයේ නම් නෙවෙයි. මේ නම ලැබුණ විදිහ ගැන නම් තවම පැහැදිලි තොරතුරක් දැන ගන්න නැහැ.

කරවිට හන්දියෙන් හැරිලා පරණවත්ත පාරෙ 2kmක් වගේ ගියාම තමයි වටවල ඇල්ලට යන අඩි පාර අපිට හම්බ වෙන්නෙ. අවට අයගෙනුත් පාර අහගෙන තමයි අපි ගියේ එකම වගේ අඩි පාරවල් ගොඩක් ඒ පැත්තෙ තිබුණ නිසා. වැස්ස අඩු නිසා ඇල්ලෙ වතුර නම් තරමක් අඩුයි. ඒත් ලස්සන නම් අඩු වෙලා තිබුණෙ නෑ.

අඩි පාරෙ ටික දුරක් ගියාම පොඩි ඒදණ්ඩකින් එගොඩ වෙලා තමයි ඇල්ල ළඟට යන්න තියෙන්නෙ 100mක වගේ දුරක්. ඒ වගේම කියන්න ඕන මේ ඇල්ල 40mක් වගේ උසයි. අපි ගියේ උදේම නිසා ඉර පායගෙන එද්දි ඒ පරිසරයෙ තිබුණෙ අමුතුම ලස්සනක්..!

ඊළඟට අපි බල්ලා මළ ඇල්ල හොයා ගෙන ගියත් ඇල්ලෙ වතුර හොඳටම අඩු නිසා ආයෙත් ආවා. අපි ඔයාලට වෙන චාරිකාවකින් බල්ලා මළ ඇල්ලෙ ලස්සන අරගෙන එන්නම්..!

රජනාව ඇල්ල – මාරපන
රජනාව ඇල්ල තමයි අපේ දෙවැනි නැවතුම..!
ඕනම කෙනෙක්ට පහසුවෙන් ළඟා වෙන්න පුලුවන් ලස්සන දිය ඇල්ලක් විදියට අපිට රජනාව ඇල්ල හඳුන්වන්න පුලුවන්. වටවල ඇල්ල බලලා රත්නපුරය පැත්තට එද්දි අපිට හම්බෙනවා තිරිවානාකැටිය හන්දිය. එතනින් හැරිලා 3kmක් වගේ ගියාම පාරට ගොඩක් සමීපව අපිට මේ දිය ඇල්ල දැක ගන්න පුලුවන්. උසින් අඩි 42ක් වගේ වෙන මේ දිය ඇල්ල සම්බන්ධව ඓතිහාසික කතා කිහිපයකුත් ගෙතිලා තියනවා.

පාරෙ ඉඳන් ඇල්ල ලඟට යන්න පැහැදිලි පඩි පෙළක් තියනවා. හරිම ලස්සන පරිසරයක් වුණත් කැළි කසළ වලින් අපවිත්‍ර වෙලා තිබුණා. ඒක නම් ඇත්තටම කණගාටුවට කරුණක්. ඒ නිසා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා ගිහින් සොබා දහම විඳින්න; හැබැයි විනාශ කරන්න එපා.

වළගම්බා රජු අතීතයේ මේ ඇල්ලෙ දියා නාන්න ඇවිල්ලා තියනවා කියලා ඉතිහාස කතාවක් අපිට අහන්න ලැබුණා. ඒ නිසා රජනෑව ඇල්ල කියලා හඳුන්වපු මේ ඇල්ල වර්තමානයේ රජනාව ඇල්ල කියලා ප්‍රසිද්ධ වෙලා තියනවා. ඒ වගේම රජ්ජුරුවො පරිහරණය කරන්නට යෙදුණ, මේ ඇල්ල ආශ්‍රිත ගල් ලෙනක ඔහුගේ ආභරණ නිදන් කරලා තියනවා කියලත් ජනප්‍රවාදයක් තියනවා.

විශේෂයෙන්ම කියන්න ඕන පාරට ආසන්න වුණත් ලස්සන, නිස්කලංක පරිසර පද්ධතියක් මේ ඇල්ලට හිමි වෙලා තියනවා. දවසක් වුණත් ඉන්න හිතෙන ඒ සිසිලස වචන වලින් කියන්න බෑ. ඔන්න ඉතින් අපි උදේ කෑම එකත් කාලා ආයෙත් ගමන පටන් ගත්තා.

ලබන මාසෙ ඔයාලව එක්කන් යනවා වේවැල්වත්ත හරහා බලංගොඩට දිය ඇළි ලෝකයක් මැදින්. එතකල් ජයග්‍රාහී මාසයක්..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Travel Minds අපේ රත්නපුර Tour එක අද ඉඳන් මෙහෙම අරන් එන්න හිතුවා ඔයාලට..!

Photogenic Sri Lanka 2023

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo