#Travel #Lifestyle

දිසා තුනක රෝන්දයක්..!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අපි දෙන්නා ගියා දිය ඇළි පාරාදීසයක් බලන්න. දකුණු පළාත, බස්නාහිර පළාත සහ සබරගමු පළාත යා කරලා රවුමක් ගහන්න තමයි Plan එක හැදුවෙ.

හරියටම අප්‍රේල් 18 වෙනිදා උදේ 5ට අපි ගමන පටන් ගත්තා. ඒ දවස ඇතුළත දියඇළි 6ක් බලන්න අපිට පුලුවන් වුණා.

මගදි එකතු කර ගනිපු ලස්සන මතක අද ඉඳන් ඔයාලට මේ විදියට අරගෙන එන්නම්..!

තඹදොළ ඇල්ල – මතුගම

ඔන්න ඉතින් අපේ පළවෙනි නැවතුම තමයි තඹදොළ ඇල්ල. පොල්ගම්පල කියන සුන්දර ගමේ පිහිටන නිසාම පොල්ගම්පල ඇල්ල කියලත් මේ දිය ඇල්ල හඳුන්වනවා.

ගාල්ලෙ ඉඳන් ඇල්පිටිය, පිටිගල පහුකරලා මීගස්තැන්න හරහා තමයි අපි පොල්ගම්පලට ළඟා වුණේ. මේ දිය ඇල්ල පිහිටන්නෙ හරිම ලස්සන පරිසරයක. කළුගල රක්ෂිතයෙ තමයි මේ නැවතුම පිහිටලා තියෙන්නෙ.

මේ ආසන්නයේ වාහන Parking තියනවා. අපි ගියපු තැන Uncle නම් අපිව සුහදව පිළිගත්තා වගේම Parking වලට මුදල් ගත්තෙත් නැහැ.

ඔන්න ඉතින් කොළ පාට ලෝකයක් ඇතුළට යන්න ගත්තා විතරයි, හරිම ලස්සනයි දොළ පාරකින් එගොඩ වෙලා තමයි ගමන ආරම්භ කරන්න තිබුණෙ. ගස් අතරින් ඉර එළිය වතුරට වැටෙන්නෙ එක රටාවකට. ඉර පායද්දි මේ පරිසරය කියන්න බැරි තරම් ලස්සනයි.

වටපිටාවම චිත්‍රයක් වගේ.. උඩ බැලුවම ෆයිනස් ගස් අතු විහිදලා පැතිරිලා තියන විදියත් හරිම ලස්සනයි. ඉතාම පුංචි කාලයකින් අපි දිය ඇල්ලට ආවා. හරිම නිස්කලංකයි. මේ ආසන්නයේම තඹදොළ ආරණ්‍යය පිහිටනවා. අපිට දානය අරන් යන පිරිසකුත් මුණ ගැහුණා මේ ගමනෙදි.

ඇති තරම් සුන්දරත්වය විඳින්න වගේම පහසුවෙන් ළඟා වෙන්න පුලුවන් තැනක්..!

ගිහින් විඳින්න, දකින්න, සැනසෙන්න..!
පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න…!
ආරණ්‍යයට සමීප නිසා සංවරව හැසිරෙන්න, ඒ වගේම බීමතින් තොරව පරිසරය විඳින්න කියලත් ඉල්ලනවා..!

කබරදොළ ඇල්ල
ඊළඟට ඔයාලව එක්කන් යන්නෙ අදහගන්න බැරි තරම් ලස්සන දිය ඇල්ලක් ළඟට. අපේ දෙවෙනි නැවතුම තමයි මේ.

කබරදොළ ඇල්ල, කබරගොයිදොළ ඇල්ල කියලත් හඳුන්වනවා.

මතුගම,අගලවත්ත,බදුරලිය හරහා අත්වැල්තොටට ඇවිත් කලවාන පැත්තට 4km ක් වගේ එන කොට අහස්බෝක්කුව පාලම හම්බෙනවා. ඒක පහුවෙනවත් එක්කම වම් පැත්තට හම්බෙන පළවෙනි පාරෙන් යන්න ඕන. එකේ නම කුඹුරේහේන පාර. ඒ පාරෙ 1.5km ක් වගේ එනකොට තමයි කබරදොළ ඇල්ල හම්බෙන්නෙ.

ඇල්ල ළඟ Board එකක් තියනවා. එතන ඔයාලගෙ වාහන නවත්තලා පහළට බහින්න තමයි තියෙන්නෙ. පොඩි වෙලාවක් පහළට බැස්සම ඔයාලට දිය ඇල්ල ළඟටම යන්න පුලුවන්.

බස්නාහිර පළාත් මායිමේ පිහිටන මේ දියඇල්ල වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. පහසුවෙන් ළඟා වෙන්න පුලුවන් නිසාම Shoots කරන්නත් මේ පරිසරයට ගොඩක් අය එනවා.

විශේෂයෙන්ම කියන්න ඕන දිය ඇල්ල ළඟටම යන්න පුලුවන් නිසා ආරක්ෂාව අංක 1 ට තියාගන්න. මොකද ගල් තියන නිසා ලිස්සන්න පුලුවන්. එහෙනම් ඊළඟ සටහනෙන් තවත් ලෝකයකට එක්කන් යන්නම්..!

හැමෝටම සුවදායී මාසයක්..!

සටහන කවීෂා හංසනී ගමගේ

දිසා තුනක රෝන්දයක්..!

ඇලන් – Part 6

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo